All posts by admin

ඇය…දියණිය….මිණිබිරිය……..

සිතිජය ඉමේ හිඳ පෙනපිඩු මුසුව                                    ගලා
සිඳු රළ පෙලින් පෙළ පාවඩ පලස                                 එලා
සුරගන සුරලොවෙහි දෙපසින් සෙමෙර                          සලා
මුතු මිණි සදිසි ඇය දෝතට තිලින                                 කලා
 
නැණ ගුණ සපිරි රුව සිරියද ඇතිව                             සොබා
ඇති දැඩි උනෙය අප දෙදෙනගෙ ඇසුර                          ලබා
දින දිව යමින් ලෙව දහමට අනුව                                සොබා
දියණිය මගේ ඇත අද මව් පදවි                                      ලබා
 
සෙනෙහස සෙවනෙ ඇය කුමරිය පරිදි                             සිටු
අපමන සතුට මැද පැතුමන් උනිද                                     ඉටු
සුරතල් දැකිය හැක අප පෙර කලෙක                              දුටු
පෙරලයි මිණිබිරිය හෙට නව ලොවක                             පිටු
 
බිලිදෙකු ලෙසින් බට ඇය සුර                              දෙවඟනකි
තුරැලෙහි දුවගෙ අද නිදමින්                                    සිහිනදකී
කෙතැනක ගියද නුබෙ මුහුනෙහි                       වෙහෙසමැකී
මවකගෙ සෙනෙහසට මදි ලිව්                            සොදුරැවැකි
 
බිළිඳිය දෙසට ඇය නොසැලී දෙනෙත                             අයා
සිතුවිලි සිතන මම හදුනමි දනිමි                                       දයා
උතුරන සතුට සුව දිදුලයි වතෙහි                                    ලියා
හදුනයි දුවව මට වැඩියෙන් හොඳට                                ඔයා
 
මතකය මගේ ඇය ඉපදුන දිනය                                 සොයා
දුටු මෙම දසුන සිත දුරකට රැගෙන                                 ගියා
විඳි අම සුවය කිව හැකිවෙද කවක                                 ලියා
මට පිය පදවි දුනි එදවස සොඳරු                                    ඔයා
 
කලකට පෙරදි විදි සොඳුරුම අමිල                               සුවේ
දුවණිය විඳිනු දැක සිතුවම් මනසෙ                               මැවේ
දහමට අනුව යන කාලය නතර                                 නොවේ
දිවි රගමඩලෙ අප රගදෙන නලුවො                              දුවේ
 
පැනයක් නැගුනි සිත එය මගෙ වරද                          නොවේ
මිණිබිරියද දුවද අගයෙන් ඉහල                                 ලොවේ
තැබුවෙමි තුලාවක පියෙකුගෙ සෙනෙහෙ                  ලොවේ
නොදැනිම නුඹගෙ පස බරවනු දැනුනි                            දුවේ
 
ඇරැව්වල අනුර ගුණතිලක

මම බෙදු දානය මටම බෙදන කොට …………..

 

 

අම්මා අද මහ ගෙදරට යනවද ඒගැන කිව්වෙත් මට                                          දැන්නේ

හවසට වැහි ඇද හැලෙන්න බැරි නෑ පරිස්සමින් තනියම                                යන්නේ

ඊයේ හවසත් උණ කිව් හින්දා සීතල දෙවල් නැහැ                                          දෙන්නේ

නෑසියො මිතුරන් බලන්න කියලා යන්න එපා හවසට                                    පින්නේ

 

ඇළදොළ පෙර මෙන් නොව දඟකාරයි වත්තෙත් නයි සහ                  පොලොංඇතී

නොයනු මැනවි බැද්දට ඇවිදින්නට උන්කොළ රොඩුවල                           වහංවෙතී

මොනවට යනවද ලොකුනැන්දගෙ ගෙට කිසිවිට දුක සැප                         අහන්නැති

පෙරලා මම දුන් ඒඋපදෙස් රැළ යලි යලි දැන් මා                                        සොයන් එතී

 

අම්මේ මේ වැඩ කෙරුම අපහසුයි මෙය වැඩ කරනුයෙ විදුලි                        බලෙන්

රන් බඩු දාගෙන තනිව නොයනු මැන එය උදුරාගයි ඔබගෙ                         ගෙලෙන්

වතුර එකතුවක් මේ ලෙස වූනොතින් බේරෙන්නට බැහැ මදුරු                     දැලෙන්

සුද්දිට සෙම වැඩි වුනොතින් අම්මේ බෙහෙත් දෙන්න පුද්ගලික                   හලෙන්

 

අර බිල් මේ බිල් කලට වෙලාවට මතක්කරගෙනම ගෙවිය                                     යුතු

සලාක දානෙට අවැසි මොනවදැයි ඊට කලින් ගොස් බැලුම                                සතුයි

සිංහල අවුරැදු දවසට අම්මේ වත් පිලිවෙත් ටික බලම                                             ගතුයි

මේවා මේ ලෙස මතක් කරන්නේ මගෙ ඇකයේ උන් පොඩිම                            පුතුයි

 

හැදුනේ මව්කිරි බීරැකවරනෙනි දෙවිඳුගෙ අඩවියෙ සුමන                                 සමන්

වැදනේ නුඹලගෙ සිරුරට පුතුනේ දැනමුතු අපදෙස් නිවන                                 ගිමන්

ඇදුනේ ආපසු සිඳු රැළ විලසයි වෙරළට ලෙස මගෙ උවන                              තෙමන්

පුතුනේ නුඹලට අමතක වූවද අම්මා තවමත් උපන්                                                ගමන්

 

එදවස මම දුන් අගනා කියමන් හරවත් කොට හැඩ මල්                                       ගවසා

සෙනෙහසකින් වුව දුව පුතු අද දින මව සිඹ සනසයි දැන්                                  පවසා

ආදරයෙන් ඒ මොනදෙ කීවත් මගෙ මුහුනට එයි ඉන්                                          රකුසා

මම දුන් දානය මටම බෙදන කොට කොහොම හිටින්නදමං                               ඉවසා

ගිනිගත්හේනේ ඩොරින් දීපානි                                                                                                                                                                                                                                                                                                                                                                                        

දියත කවි සරණිය ගැන

පරිඝනකයෙන් මෙහෙයන මෙම සමාජයේ
කවි මල් පිපෙන්නට අති ඉඩ ඇහිරි තියේ
යලි පරිසරය සකසන යුතුකමක් තියේ
ඒක්වෙමු ඊට පුබුදුවමින් කවිය දැයේ

කවියනි කිවිදියනි ලොව විසිරී සිටින
හෙල කවි කලාවට අත දිය යුතු බැවින
කවි සරණිය දියත ඒබ වෙනුවෙන් ඇරැන
මීපැණි ගගක් කලමැනඒය රිසි ලෙසින

ශාන්ති අබේසිංහ
ශාන්ති අබේසිංහ

ගෙදර බුදුන්

සැපවත් කරන්නට පවුලක අනාගතේ
රැකියවට ගියත් දරුවන් ගැනයි හිතේ
කනබොන අදින පලදින දෑ නිමක් නැතේ
පියෙකුගෙ අගය මහමෙරටත් උසයි පුතේ

ඇල දොල ගං සයුරැ කෙත්වතු අපරි මිත
රන්මුතු මැනික් දූවිල්ලෙන් වැසී යත
කොපමණ වස්තු තිබුනත් මේ පොලව මත
අම්මා තරම් වටිනා වස්තුවක් නැත

උකුලේ හොවාගෙන දෙතනේ කිරි පෙව්වා
පස්සෙන් එලව එලවා බත් කට කැව්වා
උගතුන් කරන්නට පාසල වෙත යැව්වා
සමහර දරුවනට ඇයි අමතක මෙව්වා

මව් පිය රැකුම නෑසුන බන පදයක්ය
වස්තුව උගත් කම මානය මදයක්ය
අද අපි ගෙවන්නේ සුන්දර යුගයක්ය
අම්මයි තාත්තයි දැන හරි වදයක්ය

දස මාසයක් කුසතුල ඇතිඋවද රිදුන්
ඉවසා දරාගෙන සෙනෙහස කෙරුව මුදුන්
සැප මිස දුකක් කිසිවිට දරැවනට නුදුන්
වැඩිහිටි නිවසකට යවමුද ගෙදර බුදුන්

ගේ දොර හදාදී දරුවට හිමිකාර
නිසිකල අඹුවකුත් ගෙනදී හැඩකාර
පවරා සියලු වස්තුව දුන් විට භාර
මව් පියො දෙදෙනාට අයිතිද මහ පාර?

මව් සෙනෙහසිනි ඇග ලේ කිරිකර දුන්නේ
පිය සෙනෙහසිනි දූදරුවන් දැඩි වෙන්නේ
බෝසත් දරුවනුයි මව්පිය ගුණ දන්නේ
එමදූ පුතුන් යන යන තැන ජය ගන්නේ

සියඹලාපේ ආරියදාස විතාන
අභිධර්මාචාර්ය කාව්‍ය ශ්‍රී සම්මාන ලාභී
සියඹලාපේ ආරියදාස විතාන

කලියුග සිහින

සක් දෙවිදු
උමතු වී දෙඩවමින්
මිනිස් ලොව
පාලු පාරක් දිගේ දිව ගියා
සෙයා කුඩු තිප්පොලක්…………………………………..

බදාගෙන මහ පොළව
හිරු-සදුව ඉකිබිදී මහ හඩින්
අහස්කුස දෙස බලා
ඉඩෝරෙන් පැලී ඉරිතලා ගිය………………………….

අසූවිය ඉක්මගිය මැහැලියක්
තරැණයකු දෙස බලා
කලා ඉගි බිගි මුකුලු-උමතුවී රාගයෙන්………………….

මවක් සිය යෙවනය රැකගන්න
කිරිදෙතන සගවද්දි
අප්පෙකුගෙ තණ මඩලෙ කිරි එරී
ගලාගෙන ගියා එය
බිළිදෙකුගෙ කුස ගින්න සනසමින් ……………………..

ගෙලුවුනා – දිසාපාමෙක් ඇදුරැ
දීගන්න බැරිවෙලා පිලිතුරක්
ඇසූ පැනයට -මෙන්ටිසෝරියෙ ලමයි………………

කෙසර සිහ රාජයකු
දෙකන් අඩි පිපිරුනා
අසා ගර්ජනා හඬ මුවැත්තියකුගේ………………..

ඇම්.එච්.ධර්මසිරි - හක්මන

අදහසක් සහ උපදෙසක්

ජනවරමක් ලබා ජනපතිකම් කරන
මෙත්පල් සිරිට මිහිදුනි ඇයි? ඔබ උරන
පරවේනියට අයිතිද ?රජකම පරණ
එහෙනම් වැඩවසම් මතයට අඹ සරණ

පන්සල තුල දනෝ කියමින් ජයවේවා
පින්බිම සාරදම් වදකර අතු ගෑවා
සංයමයකින් තොර අතවැසි ඔබ ගාවා
ඉන්නා බවක් සැනකින් එලියට ආවා

ජනවරමකින් එන්නට බැරි අය පෙරට
පිළිවෙති වෙනස් අය නැග ඇත ඔබෙ කරට
ජෝතිශ සුමනදාසල වැනි පභුවනට
කල හැකි දෙයක් නැතමැතිදුනි පිළියමට
 
අගමැති මවන රැලි තදයෝ තදට තියයි
එමරැලි වලට රජුහෝ යුව රජුද නොයයි
මහදැනමුත්ත ගෝලයො නාටකය ලියයි
මේ රගදෙන්නෙ නැටුමේ අවසාන පැයයි
 
ඡන්දය දෝස භය මෝහය ය කියා
බුදුහිමිසතර අගතිය මගඇතිදු කියා
ඉන් අත්මිදී යන්නේ නම් සුවය සොයා
සම්මා සතිය එතනම ඇත තබමි ලියා
 
පොතුගියවිටදි බෙල්වී මතුවෙයි ඇගිටි
එය සුනු සහල් අහුරකු පමණට නොවටී
දුන්නට චුයින්ගම් ටොපි කොලවල දැවටී
සමහරැ හපති ක්ණුකෙළ ගිලිමින් රැවටී
 
පීදුන කෙසෙල් ගස යල් යලි නුපූදිති
කද දිර දිරා පරඩැල් එහි එතී ඇති
අල මුල නොගලවා කසලෙහි දමා නැති
එන එන මොටෙයියෝ වද බැස මැරී යති
 
දරකෝටුවක් පමනක් ගෙන බින්දාම
බිදිනට නොහේ එය මිටියට බැන්දාම
එක බූරැවෙක් සිංහයෙකුට ඇන්දාම
උගෙ සනුහරේ ඉවරයි උා හින්දාම
 
බලකාමය සැපය තනි අයිතියක තියා
සිහිවිකලයෙන් සමහරැ අන්තයට ගියා
තන්හා රති රගා අඩගැහුවටද නොයා
යනවා නම් යන්න සම්මා සතිය සොයා
 

පිඹුරේ - සේන කළු ආරච්චි

අගය

පුතෙකු අගය තේරෙන්නේ ‘පුත‘                  ඉපදුන දාටයි
දුවක අගය තේරෙන්නේ දීගෙක                    ගිය දාටයි
පියෙකුඅගය තේරෙන්නේ‘මව‘                  හැරගිය දාටයි
මවකඅගය තේරෙන්නේ‘ඈ‘                      මියදුන දාටයි

අතේ අගය තේරෙන්නේ ‘අත‘                  නැති දාටයි
දතේ අගය තේරෙන්නේ ‘දත‘                 ගැලවුන දාටයි
නෙතේ අගය තේරෙන්නේ ‘නෙත‘     නොපෙනුන දාටයි
ගතේ අගය තේරෙන්නේ ‘ගත‘               වැහැරුන දාටයි

මලේ අගය තේරෙන්නේ ‘මල‘                 පරවුන දාටයි
ගලේ අගය තේරෙන්නේ‘මැණිකක්‘              වුන දාටයි
නිලේ අගය තේරෙන්නේ ‘නිළ‘                පහවුන දාටයි
බලේ අගය තේරෙන්නේ ‘බලය‘                බිදුන දාටයි

බණේ අගය තේරෙන්නේ ‘බනක්‘               ඇසූ දාටයි
දනේ අගය තේරෙන්නේ ‘දනක්‘                දුන්න දාටයි
ගුණේ අගය තේරෙන්නේ ‘ගුනවත් ‘             වුන දාටයි
පිනේ අගය තේරෙන්නේ ‘පින‘                 පෑදුන දාටයි

අවියේ අගය තේරෙන්නේ ‘සටනට‘              ගිය දාටයි
දිවියේ අගය තේරෙන්නේ ‘වස විස‘              බිව් දාටයි
සවියේ අගය තේරෙන්නේ ‘සවිබල‘             නැති දාටයි
කවියේ අගය තේරෙන්නේ‘කවියා‘               නැති දාටයි

 

කලාභූෂන/අභිනන්දන/සාහිත්‍යශූරී වස්කඩුවේ එලිසන් ද සිල්වා

ඇබැද්දිය

උදයේ පටන් එහෙ මෙහෙ ගොස් වෙහෙස විද
කය සතපවා හොද නින්දක් ලබන ලෙද
පොඩි මිණිපිරිය නිදි හින්දා ඇදෙහි මැද
පැදැරක් එලාගත්තා පාමුලෙහි ඇද

හොර බලලුන් නිතර එහෙ මෙහෙ දිව යනවා
සර බර හඩින් මහ රෑ බඩු පෙරලෙනවා
මීයන් අල්ලනව සිතමින් සැනසෙනවා
ඒ කරදරය අතරෙම නින්දත් යනවා

රැය මැද මගේ අත ගැටුනා යම් දෙයක
පහසින් නිසැක ඒ බළලගෙ වලිගයක
නිදිමත පිටම දුන්නා පහරක් හනික
ඇසුනේ අනේ දරුවෙක් හඩනා හඩක

නිදිගෙන සිටිය දියණිය මගෙ යහන මත
හනිකට එයින් බැස පැදුරට පැමින ඇත
වලිගය ලෙසට පහසක් ලද මගේ අත
වැදුනේ ඇගේ සුසිනිදු කෙස් කළඹ මත

නිවසේ ලෙසට දියණිය අලුයම යාමේ
දුවගෙන යනවකියමින් සීතයි අම්මේ
නිදිපල මාරුබව අමතක රෑ යාමේ
ලොකු වීරියකි ඇය සනහන්නට දැම්මේ

සී.කෝදාගොඩ, බොරැල්ල
සී.කෝදාගොඩ, බොරැල්ල

ඇරයුම

ඇරඹුව “දියත කවි සරණිය˜ අනුව               ඔබේ
රස කවි ලොව පුරා පතුරා හරිනු                ලැබේ
අන්තර්ජාලයට පිවිසුන විටදි                     ඉබේ
රස විදගන්න කාටත් ඉඩ හසර                  තිබේ

දුබලව සිරැර අත-පය සවි නොමැති               දාත්
ඔසුවක් පරිද්දෙන් ගතහැකි නොකර             ඈත්
සුවසෙත ලැබෙයි කළවිට කවි නැමති        බේත්
රසිකත්වයක් ඔහු සතුටින් යුතුය                  ඒත්

නිමැවුම් මිසක සැමටම ගෙනෙන           සැනසිලි
කිවිදුගෙ හදේ නොරැදෙයි නපුරැ               සිතුවිලි
කරදර විපත් දැක නොම කියන               මැසිවිලි
දසුනක් තිබේ කවිවල ඔහුගෙ                 පැහැදිලි

මේ නව ‘‘දියත කවි සරණිය‘‘ දියත             පුරා
ඔබගේ නැවුම් කවි සිතුවිලි රැගෙන               සරා
කිව ලොකයේ වැජඹිය හැක කිරැළ                දරා
ගුණදොස් අඩුපාඩු පවසනු මැනවි                 කිරා

නින්දට වැටුන දැයකට හැකි පන               පෙවිය
රණබිම සිටිනවිට අපරාජිත                     අවිය
සරැකරගන්න කෙනෙකුට මෙදියත               දිවිය
ගතසිත සනසවන දිව ඔසුවකි                  කවිය

ලෙවටම ඇහෙන්නට කිවහැකි නගා              හඩ
ඔබටත් දියතකවි සරණියෙ තිබේ                ඉඩ
කවිහරඹයට ඔබ සතු කුසලතා                  උඩ
යනු මැන ඔබත් පෙන්වා ලෝපුරා               වැඩ

 

පේමදාස නුගේගොඩ සම ලේකම් අගනුවර රසික හවුල