ගෙදර බුදුන්

සැපවත් කරන්නට පවුලක අනාගතේ
රැකියවට ගියත් දරුවන් ගැනයි හිතේ
කනබොන අදින පලදින දෑ නිමක් නැතේ
පියෙකුගෙ අගය මහමෙරටත් උසයි පුතේ

ඇල දොල ගං සයුරැ කෙත්වතු අපරි මිත
රන්මුතු මැනික් දූවිල්ලෙන් වැසී යත
කොපමණ වස්තු තිබුනත් මේ පොලව මත
අම්මා තරම් වටිනා වස්තුවක් නැත

උකුලේ හොවාගෙන දෙතනේ කිරි පෙව්වා
පස්සෙන් එලව එලවා බත් කට කැව්වා
උගතුන් කරන්නට පාසල වෙත යැව්වා
සමහර දරුවනට ඇයි අමතක මෙව්වා

මව් පිය රැකුම නෑසුන බන පදයක්ය
වස්තුව උගත් කම මානය මදයක්ය
අද අපි ගෙවන්නේ සුන්දර යුගයක්ය
අම්මයි තාත්තයි දැන හරි වදයක්ය

දස මාසයක් කුසතුල ඇතිඋවද රිදුන්
ඉවසා දරාගෙන සෙනෙහස කෙරුව මුදුන්
සැප මිස දුකක් කිසිවිට දරැවනට නුදුන්
වැඩිහිටි නිවසකට යවමුද ගෙදර බුදුන්

ගේ දොර හදාදී දරුවට හිමිකාර
නිසිකල අඹුවකුත් ගෙනදී හැඩකාර
පවරා සියලු වස්තුව දුන් විට භාර
මව් පියො දෙදෙනාට අයිතිද මහ පාර?

මව් සෙනෙහසිනි ඇග ලේ කිරිකර දුන්නේ
පිය සෙනෙහසිනි දූදරුවන් දැඩි වෙන්නේ
බෝසත් දරුවනුයි මව්පිය ගුණ දන්නේ
එමදූ පුතුන් යන යන තැන ජය ගන්නේ

සියඹලාපේ ආරියදාස විතාන
අභිධර්මාචාර්ය කාව්‍ය ශ්‍රී සම්මාන ලාභී
සියඹලාපේ ආරියදාස විතාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *